සුන්දරත්වයට ඔබ්බෙන්.................

ඉන්දියන් සාගරයේ භෞතික වෙනස්වීම් ලංකාවට බලපාන ආකාරය

ඉන්දියන් සාගර ප්‍රදේශය භූ චලන වාසුළි කුණා‍ටු වැනි භෞතික ක්‍රියා වලීන් නිතර ඇතිවන ප්‍රදේශයකි. 2004 සුමාත්‍රා දූපත ආසන්නයේ ඇතිවූ භූමි කම්පා වලින් පසුව තවත් භූමි කම්පා රාශියක් ඇති විය. එමෙන්ම බෙංගාල බොක්ක ප්‍රදේශයෙහි වායු ගෝලීය කැළඹීම් නිතර නිතර හට ගැනීම නිසා වාසුළි හා කුණාටු ඇතිවන අතර ශ්‍රී ලංකාවද අඩු වැඩි වශයෙන් ඒවායේ බලපෑම් වලට ගොදුරු වේ. එබඳු හානිකර බලපෑම් නිසා ශ්‍රී ලංකාවේ භෞතික  පරිසරයට සිදුවන විපත් ද බොහෝය. කඳු නාය යෑම්, මුහුදු වෙරළබඩ ඛාදනය වීම ඊට නිදසුන්ය. ඒ හැර කුණා‍ටු තත්වයන් නිසා විදුලි ‍රැහැන්, දුරකථන මාර්ග, වගාබිම්, නිවාස සහ වෙනත් ගොඩනැගිලි වලටද බරපතල හානි සිදුවේ. කුණා‍ටු තත්වයන් නිසා නිවාස සහ ධීවර  බෝට්‍ටු අහිමි වීමෙන් ධීවර කාර්මිකයින්ට ද පාඩු සිදුවේ.

2011 ජපානයේ සිදුවූ සුනාමි ඛේදවාචකය

සුළි සුළඟක් යනු කුමක්ද??



සුළි සුළඟක් වායු ගෝලය තුළ හට ගන්නා අඩු පීඩන ප්‍රදේශයක මධ්‍ය   ලක්ශ්‍යයක් වටා කර කැවෙන සර්පිලාකාර සුළං රටාවක් ලෙස හැදින්විය හැකිය. සුළි සුළඟක කේන්ද්‍රයේ සිට කිලෝ මීටර් 100ක් පමණ දක්වා තද සුළං පැවතිය හැකිය. අතිශයින් ප්‍රභල ව්‍යසනකාරී කාලගුණ පද්ධතියකි.  ශ්‍රී ලංකාවට බලපාන සුළි සුළං අයත් වන්නේ නිවර්තන ගණයටයි. මේවා බොහෝ විට උපත ලබන්නේ බෙංගාල බොක්කෙහිය. උතුරු පැසිපික් සාගරය ආශ්‍රිතව හට ගන්නා සුළි සුළං ටයිෆූන් ලෙස හැදින්වේ. උතුරු අත්ලන්තික් සාගර ආශ්‍රිතව හට ගන්නා සුළි සුළං හදුන්වන්නේ හරිකේන් යනුවෙනි. මේවාට අමතරව ගොඩබිම කිසියම් ප්‍රදේශයක පමණක් බලපාන ටෝනේඩෝ නම් වූ සුළි සුළං විශේෂයක්ද ඇත.

ටොර්නේඩෝවක් යනු කැටි වැහි වළාකුළක් වර්ධනය වී පෘථිවි මට්ටම දක්වා පැතිරී ගොස් ඉතා වේගයෙන් කරකැවෙන වායු කඳකින් සමන්විත කාලගුණ පද්ධතියකි. මහජනයා මෙන්ම ජන මාධ්‍යද බොහෝ විට සුළං හානි හදුන්වන්නේ සුළි සුළං නිසා ඇතිවූ විපත් වශයෙනි. එහෙත් සුළං හානි සිදුවන්නේ සුළි සුළං නිසාම නොවේ. මේ නිසා නිවර්තන සුළි සුළං හා ටෝර්නේඩෝ සන්සන්දනය කිරීම ප්‍රයෝජනවත් වනු ඇත.

නිවර්තන සුළි සුළන් ඇතිවීමට බලපාන සාධක

සුළි සුළඟක් ඇතිවීමට පහත දැක්වෙන සාධක ඉවහල් වේ යැයි කාලගුණ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

1.    මුහුදේ මතුපිට සහ මීටර් 60ක් ගැඹුර ප්‍රදේශය දක්වා ජලයෙහි උෂ්ණත්වය 26 වඩා වැඩි වීම.

2.    පද්ධතිය වර්ධනය වන ස්ථානය සමකයට 3 ක් හෝ, ඊට වැඩියෙන් උතුරට හෝ දකුණට හෝ බරව පිහිටා තිබීම. (සමකය මත සුළි සුළං ඇති නොවේ.)

3.    පොළොම මතුපිට සිට කිලෝ මීටර් 7-8ක් දක්වා ඉහලට වායු ගෝලයේ ආර්ද්‍රතාව 60% වඩා වැඩි වීම.

සුළි සුළඟක වර්ධන අවධි හා බලපෑම්



අඩු පීඩන ප්‍රදේශයක් කේන්ද්‍ර කොට ගෙන සුළි සුළඟක් වර්ධනය වීම අවධි කීපයකින් සිදුවිය හැකිය.

සුළි සුළං පිළිබඳව  කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට තොරතුරු ලබා දෙයි. මෙම ආයතනය පැය 24 පුරාම සේවයෙහි නිරත වේ. ශ්‍රී ලංකාවට වැඩිපුර සුළි සුළං බලපාන නොවැම්බර් හා දෙසැම්බර් මාස වලදී මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරේ. ඉතා දියුණු චන්ද්‍රිකා තාක්ෂණය හා අනෙකුත් තාක්ෂණික මෙවලම් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව ඇත. එබැවින් සුළි සුළඟට පැය 48 පෙර අනතුර ඇඟවීමක් කිරීමේ හැකියාව එම දෙපාර්තමේන්තුව සතුය. ශ්‍රී ලංකාවට සුළි සුළඟක් බලපාන අවස්ථා වලදී පිළිබඳ අලුත්ම තොරතුරු අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා පොලිස් ස්ථානයට සපයනු ලැබේ. එම තොරතුරු ප්‍රදේශීය ලේකම් විසින් හෝ ලගම ඇති පොලිස් ස්ථානය මඟින් හෝ ජනතාවට දන්වනු ලැබේ.

සුළි සුළන් ආපදා තත්ත්ව කළමණාකරනය


   1.    නිවසේ උළු හෝ තහඩු වහල හෝ හොදින් සවි කර ඇතිදැයි නිතර සොයා බැලීම.

   2.  දොරවල් හා ජනෙල් නිතරම හොද තත්වයෙන් පවත්වා ගැනීම.

   3.    නිවෙසට අනතුරුදායක ලෙස වැවී ඇති ගස් වල අතු කපා දැමීම හෝ වඩාත් අනතුරුදායක නම් එම ගස් සම්පූර්ණයෙන් ඉවත් කිරීම.

   4.    තද සුළං අවස්ථාවකදී සුළඟට පෙරලීමෙන් අනතුරු සිදුවිය හැකි දේ  ආරක්ෂිතව අසුරා තැබීම.

   5.    සුළි සුළඟක් හේතුවෙන් සිදුවිය හැකි මුහුද ගොඩගැලීමකදී හෝ ගංවතුරක දී හෝ ආරක්ෂාව සලසා ගතහැකි ළඟම ඇති උස් ස්ථානය හා එයට ළඟා වන මාර්ග හදුනාගෙන සිටීම.

"ආපදා මල්ල" සූදානම් කර තෑබීම. එහි පහත දැක්වෙන දේ අඩංගු විය යුතුය.

  1.   පානීය ජල බෝතල්
  2.   ප්‍රථමාධාර ද්‍රව්‍ය
  3.   වියළි ආහාර ද්‍රව්‍ය (බිස්කට් ආදිය)
  4.   පොරවන රෙදි
  5.   බැටරියෙන් ක්‍රියා කරන කුඩා රේඩියෝව
  6.   බැටරි යෙදූ විදුලි පන්දම
  7.   ගිනිපෙට්ටියක් හා ලන්තෑරුමක්
  8.   හදිසි අවස්ථාවකදී භාවිත කළ යුතු අත්‍යවශ්‍ය දුරකථන අංක, පහසුවෙන් සොයා හැකි තැනක තබාගැනීම.